27 දෙනෙකුගෙන් යුත් සරණාගතයින් කණ්ඩායමක් මව්බිමට
දකුණු ඉන්දියාවේ සරණාගත කදවුරු වල ජිවත් වු ශ්‍රී ලාංකික සරණාගතයින් 27 දෙනෙකු 2013 පෙබරවාරි මස 20 වන දින යළි පෙරළා සිය රටට පැමිණීයහ. ශ්‍රී ලාංකික සරණාගතයින් 68,000 ක පමණ පිරිසක් (තම ඥාතීන් සහ හිත මිතුරන් සමග වෙසෙන 34,470ට අමතරව) ඉන්දියාවේ සරණාගත කදවුරු 110ක දැනට වාසය කරති. නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ නිලධාරීන් සහ කොළඹ පිහිටි සරණාගතයින් පිළිබද එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙම කණ්ඩායම පැමිණී අවස්ථාවේ දී කටුනායක බණිඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ සිටියහ.
ශ්‍රී ලංකා රජය සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය, ශ්‍රී ලාංකීක සම්භවයක් ඇති නීත්‍යානුකූල සරණාගතයින් යළි පෙරළා ස්වේච්ඡාවෙන් සිය රටට පැමිණීම ධෛර්යමත් කරයි. 2011 ජනවාරි සහ 2013 ජනවාරි අතර කාලය තුළ සරණාගත පුද්ගලයින් 3063 ක් පෙරළා මව්රටට පැමිණ ඇති අතර ඔවුන් දැනට ස්වකීය මුල් ගම්බිම් වල පදිංචිව සිටිති.
කොළඹ පිහිටි සරණාගතයින් පිළිබද එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය විසින් කරන ලද සමීක්ෂණයකට අනුව මෙලෙස ශ්‍රී ලංකාවට පෙරළා පැමිණි සරණාගතයන්ගෙන් 92%ක ප්‍රමාණයක් යළි පැමිණිමට අදාලව තමන් විසින් ගත් තීරණය පිළිබදව සතුටට පත්ව සිටිති.
20.02.2013
නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව රැස්වේ.
2013 වර්ෂය සදහා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේ ප්‍රථම රැස්වීම 2013 පෙබරවාරි මස 19 වන දින ප.ව. 2.30ට නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ගරු ගුණරත්න වීරකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වුණි.
මෙම රැස්වීමේ දී අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන නැවත පදිංචි කරවීමේ අධිකාරියේ 2008, 2009 සහ 2010 වර්ෂයන් සදහා වු වාර්ෂික වාර්තා සහ ගිණුම් ප්‍රකාශ ඇතුළු අනෙකුත් අදාල කරුණු රාශියක් සාකච්ඡාවට භාජනය විය.
උතුරු සහ නැගෙනහිර පළාත් වල යුද්ධයෙන් පරිහානියට පත් ප්‍රදේශවල නැවත පදිංචි කළ පවුල් වෙනුවෙන් දැනට ලබා දී තිබෙන නිවාස සහ සනීපාරක්ෂක පහසුකම් පුළුල් කිරීමේ අවශ්‍යතාවය කාරක සභාවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
19.02.2013
පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් පිළිබද ක්‍රියාකාරි සැලැස්ම එළිදකී
පානීය ජල සහ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට අදාලව නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය විසින් සකස් කරන ලද ක්‍රියාත්මක සැලැස්ම 2013 පෙබරවාරි මස 13 වන දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති සම්මන්ත්‍රණයක දී ඉදිරිපත් කෙරුණි. නැවත පදිංචි කිරීමේ අමාත්‍යාශයේ අතිරේක ලේකම් එම්.එම්. නයිමුදීන් මහතා විසින් රු. දශලක්ෂ 116 ක් වැයකර ක්‍රියාත්මක කිරීමට යෝජිත නව සැලැස්ම මෙහි දී පැහැදිලි කරන ලදී.
උතුරු-නැගෙනහිර පළාත්වල යුද්ධයෙන් පීඩාවට පත්ව යළි පදිංචි කළ ප්‍රජාවන් වෙත පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම නව ව්‍යාපෘතියෙන් අපේක්ෂා කෙරේ.
ස්වකීය දීර්ඝ කරුණු ඉදිරිපත් කිරීමේ දී අතිරේක ලේකම් නයිමුදීන් මහතා විසින් එක් එක් දිස්ත්‍රික්කයට අදාල මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම, අදාල දිස්ත්‍රික්කය තුළ යළි පදිංචි කළ පුද්ගලයින් සමස්ත පුද්ගල සංඛ්‍යාව පදනම් කරගෙන තීරණය කරන ලද බව පැහැදිලි කරන ලදී. කෙසේ වෙතත්, අදාල දිස්ත්‍රික්කවල සැලසුම් අධ්‍යක්ෂවරුන් සහ අනෙකුත් නිලධාරීන් සහභාගි වු මෙම රැස්වීමේදී ඉදිරිපත් වු අදහස් සලකා ප්‍රාදේශීය මට්ටමේ අවශ්‍යතාවන් සැලකිල්ලට ගෙන පානීය ජලය හෝ සනීපාරක්ෂක පහසුකම් සැලසීමේ දී ම ක්ෂේත්‍ර දෙකෙන් වඩාත් අදාල ක්ෂේත්‍රය තෝරා ගැනීම සදහා දිස්ත්‍රික්කවලට අනුමැතිය ලැබුණි.
දැනට යෝජනා වී ඇති පානීය ජල සැපයීම සහ සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියට අමතරව මෙම සම්මන්ත්‍රණයේ දී 2013 වසර සදහා වු නැවත පදිංචි කිරීමේ අමාත්‍යාශයේ සමස්ථ සංවර්ධන සැලැස්ම, 2013-2016 කාලය සදහා අමාත්‍යාංශයේ සංයුක්ත සැලැස්ම, සමස්තයක් වශයෙන් දැනට නොවිසදී ඇති නිවාස, පානීය ජල සහ සනීපාරක්ෂක පහසුකම්, යළි පදිංචි කළ ප්‍රජාවගේ අනෙකුත් අවශ්‍යතාවන් සහ නැවත පදිංචි කිරීමට අදාලව උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම විසින් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට දාල ප්‍රගතියද සාකච්ඡා කෙරුණි.
දිස්ත්‍රික්ක නියෝජනය කරමින් රැස්වීමට සහභාගි වු නිලධාරීන් එම රැස්වීම ඉතා ඵලදායී බව සදහන් කළ අතර නැවත පදිංචි කිරීමේ අමාත්‍යාශය සමග අන්තර් සබැදියාවක් වඩාත් නිරන්තර පදනමකින් මෙවැනි සම්මන්ත්‍රණ පැවැත්වීම, අවතැන් වී දැනට යළි පදිංචි කළ ප්‍රජාව මුහුණ දී ඇති ගැටළු විසදීම සදහා මහෝපකාරී වනු ඇතැයි ද අදහස් පළකළේය.
සම්මන්ත්‍රණය අවසානයේදී අදහස් දැක්වු නැවත පදිංචි කිරීමේ අමාත්‍යාශයේ ලේකම් ජනක සුගතදාස මහතා අනාගතයේ දී මෙවැනි සැසිවාර නිරන්තරයෙන් පවත්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සමග මනා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමට කටයුතු කරන බව දැන්වීය. එමෙන්ම පානීය ජල හා සනීපාරක්ෂක කටයුතුවලට අදාල ව්‍යාපෘති වාර්තා සකස් කිරීම සහ ඉදිරිපත් කිරීමේ දී දිස්ත්‍රික් සැලසුම් ඒකක විසින් දක්වන ලද ඉහළ කාර්යභාරය සහ කැපවීම අගය කළ සුගතදාස මහතා මෙම වර්ෂයේ දී ප්‍රතිපාදන ලබාදීමට නොහැකි වු ව්‍යාපෘති සදහා අවශ්‍ය ප්‍රතිපාදන 2014 දී ලබා ගැනීමට පියවර ගන්නා බව ද වැඩිදුරටත් පැවසීය. පින්තූර ගැලරිය>>
13.02.2013